Friday, 30 October 2020

පුද්ගල මනස සහ ශරීරය


 පුද්ගලයාගේ මනස සහ ශරීරය අතර පවතින්නේ නොබිදිය හැකි සම්බන්ධතාවයකි.එනම්  මනස සහ කය  ක්‍රියාත්මක වන්නේ නිවුන් සහෝදරියන් ලෙසය.යන්න ඒ පිළිබදව පරීක්ෂණ කරන ලද විද්වතුන්ගේ අදහසයි.

මිනිසා තම බාහිර පරිසරයට ප්‍රතිචාර දැක්වීම වෙනුවට තමාගේ මනස තුල ඇතිවන සිතුවිලි වලට ප්‍රතිචාර දැක්වීමට යයි.මිනිසාගේ පරිසරය වී ඇත්තේ සිතුවිලිය.ඒ අනුව මිනිසාගේ ඕනෑම ක්‍රියාවක ආරම්භය සිදුවන්නේ ඔහුගේ මනස තුලයි.

මනස තුල පළමුව සිතුවිලි හට ගනී.ඉන්පසු  හැගීම් ඇති වේ.ඒවා ක්‍රියාවට යොද වන්නේ කය හරහාය.මේ අනුව පෙනී යන්නේ ඕනෑම ක්‍රියාවක් සිදු වීමට  මත්තෙන් එය පුද්ගලයාගේ මනස තුල සිදු වන බවයි.උදාහරණ වශයෙන් පුද්ගලයකුට යම් සොරකමක් කිරීමට අවශ්‍ය වුවහොත් එම ක්‍රියාව මනස තුල  පළමුව සැලසුම් කොට සිදු කරනු ලබයි.සමහර විටක එය කිහිප වාරයක් මනස තුල සිදු කරන අවස්ථා දක්නට ඇත.

මේ අනුව යම් ක්‍රියාවක් සදහා සිතුවිලි හා හැගීම් මනසෙහි ඇතිවන අතර එම චර්යාව කයෙන් ක්‍රියාත්මක වන බව පැහැදිලි වේ. 

අපගේ සෑම සිතුවිල්ලකට අදාල රසායනික අණුවක් ශරීරයේ ජනනය වේ.මේවා නියුරෝපෙප්ටයිඩ නොහොත් නියුරෝ ටාන්ස්මීටර්ස්  යනුවෙන් නම් කර තිබේ.සෑම සිතුවිල්ලක්ම ඇති වී තත්පරයකටත් අඩු කාලයකදී මෙවැනි රසායනික අණුවක් ශරීරයේ  ඇති  වේ. මනස සහ කය සම්බන්ධ කරන්නේ මෙම රසායනික ද්‍රව්‍ය මගිනි.මේවා ඇති වන්නේ ස්නායු පද්ධතියේ ස්නායු ආශ්‍රිතය. ඍණ සිතුවිලි නිසා  අහිතකර (අසුබවාදී ) අණු ද   ධන සිතුවිලි නිසා හිතකර  (සුබවාදී) අණුද ඇති වේ.ඒ අනුව ධන සිතුවිලි නිසා ධනචර්යාවන් ද (යහපත් හැසිරීම) ඍණ සිතුවිලි නිසා ඍණ චර්යාවන්ද (අයහපත් හැසිරීම්) ප්‍රකාශ කරයි.

කය සහ මනස අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් පවතින බව තහවුරු වීමට අපට ගත හැකි හොඳම උදාහරණයක්‍ නම් කුසගින්න ඇති වීමයි.කුසගින්න ශාරීරික අවශ්‍යතාවයකි.එවිට කුමන හෝ කෑම වර්ගයක් අනුභව කිරීමෙන් කුසගින්න නිවා ගත හැක.එවිට කායික අවශ්‍යතාවය සංසිදේ.නමුත් කුසගින්න ඇති වූ පමණින් ඕනෑම ආහාරයක් ගැනීමට පුද්ගලයා මැලි බවක් දක්වයි.තමා කැමති ආහාර ගැනීමට පුද්ගලයා පෙළඹේ.එය මානසික බලපෑමකි.

උදාහරණ වශයෙන් කුසගින්න සදහා තුන්වේල්ලටම බත් හෝ පාන් හෝ එකම ආහාරයක් අනුභව කළ හැකිය.එහෙත් මිනිසා සෑම විටම එකම ආහාරයක් අනුභව කිරීමට අකමැතිය.මෙහිදී  මිනිසා ආහාරයේ විවිධත්වයක්‍ අපේක්ෂා කරයි.ආහාරයේ රස,විවිධත්වය,වර්ණය ආදිය සේවීම මනසේ බලපෑමෙන් සිදු වේ. 



ගවයෙක් ගත් කල ඌ දිනපතා ආහාරයට ගන්නේ තණකොළ.සිංහයා ගත් විට මස් පමණක් අනුභව කරයි.ඒ එම සතුන්ගේ  කායික අවශ්‍යතාවය ඉටු කර ගැනීම සඳහා  පමණි.මිනිසාට එසේ කළ   නොහැක්කේ මිනිස් මනස නිරන්තරයෙන් වෙනසක් අපේක්ෂා කරන බැවිනි මෙසේ වෙනසක්  (විවිධත්වයක්)   නොලැබුන විට පුද්ගලයාගේ මනස පීඩාවට පත් වේ.ඒ හේතුවෙන් පුද්ගලයා දුකට පත් වේ.එය ප්‍රකාශ වන්නේ කායික රෝගයක් හෝ අපහසුතාවයක් ලෙසිනි.

පුද්ගලයාට යම් චිත්ත වේගයක් ඇති වු විට එහි ස්වභාවය අනුව ශරීර අභ්‍යන්තරයේ රසායනික ක්‍රියාකාරිත්වයක් සිදු වේ. 

උදාහරණ වශයෙන් නිතර කේන්ති යන කෙනෙකුට රුධිරයේ සීනි මට්ටම ඉහල යාමේ හැකියාව ඉතා ඉහළ බව පර්යේෂණ මගින් සොයා ගෙන තිබේ.කේන්ති යාමේදී  ආහාර දහනය සීග්‍ර වේ.ශරීරය වේව්ලීමට භාජනය වේ.එවිට වැඩිපුර ශක්තිය නිපදවීමක් සිදු වේ. පටක ගැටීමෙන් ශරීරයේ උෂ්ණත්වය වැඩි වේ.එවිට රුධිර පීඩනය වැඩි වේ.අවසාන ප්‍රතිපලය අධික රුධිර පීඩනය නමැති රෝගයට ගොදුරු වීමයි.මෙහිදී පෙනී යන්නේ මනසේ ඇති වෙන්නා වූ චිත්ත වේග නිසා ශාරීරික රෝගී භාවයට පත් වීමයි.

තවත් නිදසුනක් ලෙස බිය ඇති වීම ගත හොත් මෙය මුලින්ම මොළයේ හයිපොතැලමස නම් කොටස කරා ගොස් එමගින් පිටියුටරි ග්‍රන්ථිය කරා ගමන් කරයි. ඉන්පසු අධි වෘක්ක ග්‍රන්ථීයේ අධි වෘක්ෂ මජ්ජාව උත්තේජනය වී ඇඩ්‍රිනලින් නම්  හොර්මෝනය ශ්‍රාවය වීමට පටන් ගනී.ඉන්පසු අදාල නිර්නාල  ග්‍රන්ථීන් ක්‍රියාත්මක වීමෙන් මෙම බියට සරිලන ආකාරයේ කායික   ක්‍රියා   කාරීත්වය සකස් කරනු ලැබේ.එනම් රුධිර   පීඩනය  වැඩි වීම ශ්වසනයේ වේගය වැඩි වීම ග්ලුකෝස්  මට්ටම ඉහල යාම මේ අතර දැකිය හැකි ක්‍රියාකාරීත්වයන්   ගෙන් සමහරකි.

තවද පිටියුටරි ග්‍රන්ථිය මගින් ACTH( Adre Nocroticotropic) නම් හොර්මෝනය    ශ්‍රාවය  කර අධි වෘක්ක බාහිකය   උත්තේජනය කරයි. මෙහිදී කෝටිසෝල්  නම්  රසායනිකය  ශ්‍රාවය වීම සිදු වේ.මෙම කොටිසෝල් මගින් ද බියට එරෙහිව සටන්  කිරීම  සඳහා අවශ්‍ය   කායිකමය රසායනික ක්‍රියාකාරීත්වයේ  විශාල  වෙනසක් ඇති කරයි.

එනම් රුධිරයේ ග්ලූකෝස්  මට්ටම ඉහල දැමීම ප්‍රොටීන් සහ මේදය කැඩීමේ  ක්‍රියාව වැඩි කිරීම,ඇමයිනෝ අම්ල වලින්  ග්ලූකෝස් සැදීම වැඩි කිරීම.පරිවෘත්තිය ක්‍රියාවල වේගය වැඩි කිරීම,රුධිර සෛල වල හිමෝග්ලොබින් ප්‍රමාණය වැඩි කිරීම ආදිය සිදු වේ.

තවද  මානසික පීඩනයන් තුල සිටින පුද්ගලයන්ගේ බාහිර පෙනුමෙහිද පැහැදිලි වෙනස්කම් ඇති වේ.මුහුණෙහි මාංශ පේශි දැඩි වීම,ප්‍රියමනාප බව නැති වීම,මුහුණ කඵ පැහැ ගැන්වී අදුරු ස්වරූපයක් ගැනීම ආදී කායිකමය ලක්ෂණ දක්නට ලැබේ.

බුදු රජාණන් වහන්සේද ශාරීරිය හා මනස අතර සම්බන්ධතාවය පිළිබඳ කරුණු ඉදිරිපත් කර ඇත.බුදුන් වහන්සේ  දේශනා කර ඇත්තේ තමාගේ පරම හතුරා අනෙකක්  නොව තමන්ගේ සිතමය.යන්නයි
                      ආරෝග්‍ය පරමා ලාභා
                      සන්තුට්ඨි පරම ධනං........
ගාථාවෙන් දේශනා කර ඇත්තේ සතුට උතුම්ම ධනය බවයි.සතුටින් සිටිමෙන් නිරෝගී භාවය ඇති වෙන බවත් ඒ හේතුවෙන් යහපත් ජීවිතයක් ගත කළ හැකි බවත්ය.

ඉහත කරුණු සියල්ල සලකා බැලීමේදී පෙනී යන්නේ ශරීරය තුලින් පෙන්වන බොහොමයක් ක්‍රියාකාරීත්වය සදහා මනස මෙහෙයුම් මැදිරියක් ලෙස ක්‍රියා කරන බවයි.ශාරීරික ක්‍රියාකාරීත්වය  තුලින් මනස පාලනය කළ නොහැකි අතර මනසේ ක්‍රියා කාරීත්වය තුලින් පුද්ගලයාගේ කායික දේවල් පාලනය කරන බව පැහැදිලි වේ.

මේ නිසා සැම විටම සන්සුන් නිරෝගී මනසක් සකස් කර ගැනීමෙන් නිරෝගී ජීවිතයක් ගත කළ හැකි බවත් මෙම මනස හා ශරීරය යුවති පතීන් මෙන් අපගේ ජීවිතය පුරාවටම ක්‍රියාත්මක වන බවත්  සදහන්  කළ හැකිය.


✍✍✍ හිරු✍✍✍

Sunday, 11 October 2020

මිනිස් සන්තානය හා වර්තමානය


 පුද්ගල සංවර්ධනය,ආගම,දහම,සදාචාරය වැනි මාතෘකා වර්තමානයේ බොහෝ සෙයින් අසන්නට, දකින්නට ලැබේ.මාධ්‍ය සංදර්ශන පවත්වමින් විවිධ නාලිකා ඔස්සේ මිනිස් සන්තානයට කිදාබැස මිනිසාගේ සිතුවිලි ඔවුන් අතට පත් කරගනිමින් මනස විකෘති තත්වයට පත් කර ගෙන ඇති  බවද පැහැදිලි වේ.

මුහුණු පොත හරහා  පුද්ගලයා  තමන් ගැන සිතනවාට වඩා අන් අයගේ තොරතුරු සෙවීමට,කතා කිරීමට හා පහත් රසවින්දනාත්මක දේවල් වලට කාලය වැය කිරීමට බොහෝ සෙයින් පෙළඹී ඇත.ජංගම දුරකතනයට ජීවිතයේ ඉහලම ස්ථානය ලබා දී තම වටිනාම මෙවලම එය බව සිතා කටයුතු කරන යුගයකි. මේ.

පුද්ගලයාගේ තම සිතුවිලි තුල හුදකලා බවට පත් වීමටත්,කායික ,මානසික හා සමාජීය සෞඛ්‍යයේ පිරිහීමට ලක් වෙමින් සිටී.


පිරිපුන් මිනිසුන් වෙනුවට ගතින් සිතින් මලානික  වූ මිනිසුන් වර්තමාන සමාජය තුල වැඩි වෙමින් පවතී. 

එබැවින් පවුල්  සංස්ථාව තුල ඇති බැදීම,ආදරය,සහයෝගය වැනි උසස් ගුණාංග පිරිහීමට පටන් ගෙන ඇත.
වටින්නේ මිනිසෙකු නොව වටිනා මිනිසෙකි
යන සංකල්පය සමාජය තුලට කාන්දු කළ යුතු යුගයකි මේ.


පුද්ගලයා මුලින් සිතිය යුත්තේ තමන් ගැනය.මුලින්ම ආදරය කල යුත්තේ තමන්ටය.මන්ද තමන්ට ආදරයක් නැති  පුද්ගලයා වෙනත් කෙනෙකුට  ආදරය කරන්නට පෙළඹෙන්නේ නැත.තමන්ගේ වටිනාකම තමන්ටම දැනිය යුතුය.


එසේනම් තම ජීවිතය තුලට කිදාබැස තමා ගැන ගවේෂණය කිරීමට කාලය එළඹ තිබේ.ඔබ ඔබ ගැනම සිතන්න.ඔබ පොහොසත් විය යුත්තේ ඔබගේ යහපත් සිතුවිලි වලින්ය.ඔබගේ සිතුවිලි ධනාත්මකද?ඔබ සතුටින් ද?

01.දුක,සතුට, තරහ,කෝපය වැනි ඕනෑම චිත්ත වේගයකට ඔබට හොඳින් මුහුණ දිය හැකිද?

02.ඔබ ගැන පරාජිත හැගීම් වලට වඩා ධනාත්මක හැගීම් වලින් ඔබ ප්‍රබෝධමත් කරයිද?

03. සැම විටම ඔබගේ දුර්වලතාවයන් ඇත්නම් එය පිළිගන්නට ඔබ කැමතිද?

04.ඔබ ගැන අධි තක්සේරුවක් හෝ අව තක්සේරුවක් ඇති කර නොගනීද?

05.අන් අය සමඟ සුහද  සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීමට පහසුවෙන් හැකිවේද?

06.අන් අයගේ සිතුම් පැතුම් අවබෝධ කරගැනීමට උත්සාහ දරයි ද?

07.එසේම පුද්ගල විවිධත්වයන් ගරු කරමින් ඔවුන් සමග එක්ව වැඩ කිරීමට හැකිද?

08.නව අත්දැකීම් ලබා ගැනීමට උත්සාහ දරයි ද, කැමත්තක් දක්වයිද?

09.ඔබට පැවරෙන කාර්යයන් උසස් ලෙස නිම කිරීමට සැම විටම උත්සාහ කරයිද?

10.ජීවත් වීමේදී ඇති වන ගැටලු වලට සාර්ථකව මුහුණ දීමට හැකිද?

  විශේෂයෙන් ඔබ වැඩිපුරම සිටින්නේ සතුටින් ද,නැතහොත් දුකෙන් හෝ කලකිරීමෙන් ද?

ඔබ සතුටින් නම් ඔබ හමුවට එන ගැටලු වලින් පලා යෑමට උත්සාහ දරන්නේ නැත.ඔබ සතුටින් නම් ඔබට අන්‍යයන්ගේ තරහව,කෝපය වැනි චිත්තවේගික තත්වයන් හමුවේ ආවේගශීලී වන්නේ නැත.

මිනිස් සන්තානය තුල ඇතිවන සිතුවිලි යහපත් කර ගැනීමට තමා ගැනම ගවේෂණය කර තමා හදුනා ගැනීමට කාලය වෙන් කළ යුතු කාලයකි මේ.සිතුවිලි යහපත් වීම අහඹු දෙයක් නොව අප පුරුදු පුහුණු කර ගත යුතු දෙයකි.වර්තමානයේ සමාජ අවශ්‍යතාවය  වන්නේ ද එයයි.උත්සාහ දරමු.යහපත් වෙමු.....


✍✍✍✍ හිරු✍✍✍✍

ප්‍රචන්ඩකාරී හැසිරීමේ පදනම ජීව විද්‍යාත්මක ද? පරිසර විද්‍යාත්මක ද? විමසා බලමු ............

  ප්‍රචණ්ඩකාරී හැසිරීම කෙරෙහි ජීව විද්‍යාත්මක බලපෑම්ද පරිසර  විද්‍යාත්මකව බලපෑම්ද  හේතු වන්නේ යන්න විමසා බැලිමේ දී පෙනී යන්නේ ඊට අදාලව අධ්‍ය...