Monday, 1 March 2021

ප්‍රචන්ඩකාරී හැසිරීමේ පදනම ජීව විද්‍යාත්මක ද? පරිසර විද්‍යාත්මක ද? විමසා බලමු ............

 

ප්‍රචණ්ඩකාරී හැසිරීම කෙරෙහි ජීව විද්‍යාත්මක බලපෑම්ද පරිසර  විද්‍යාත්මකව බලපෑම්ද  හේතු වන්නේ යන්න විමසා බැලිමේ දී පෙනී යන්නේ ඊට අදාලව අධ්‍යාපනඥයින්, මනෝ විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කර ඇති අදහස් අනුව ජීවියකු විසින් ජීව විද්‍යාත්මකව උරුම කරගෙන ඇති ජානවල විභවතාවයන් කෙරෙහි ඒ ඒ  පුද්ගලයා ජීවත්වන පරිසරයෙහි බලපෑම් ද ඊට හේතු වන බව ය. 

 පුද්ගලයෙකු  උපදින විදිය නොව ඊට මාස නමයකට පෙර   පිළිසිඳ ගන්නා විට ඇතිවූ සියලුම සාධක ආරය වශයෙන්  ද, ඉන්පසු ඔහු කෙරෙහි බලපෑ   හැම බාහිර සාධකයක්ම  පරිසරය ලෙසද ගත යුතු යැයි  වුඩ්වර්ත් පවසා තිබේ. පුද්ගලයකුගේ පැවැත්මත්, සංවර්ධනයත් කෙරෙහි බලපාන හැම සාධකයක්ම ආරයත් පරිසරයක් යන දෙ දෙකටම අයත් වන බව ඔහු පවසයි.

  මොන්ටේගු  දක්වන පරිදි  ජාන  සම්පූර්ණ ශූන්‍ය පරිසරයට වැඩෙන්නක් නොවේ. එසේම අපට කළ හැකි දේ පිළිබඳව සීමාවන් ජාන මගින් තීරණය වන අතර එම සීමාවන් තුළ  විභව්‍යතාවයන් ඉටුකරන ප්‍රමාණය තීරණය කරනු ලබන්නේ පරිසරය මගින් බව ඔහු පැහැදිලි කර කරයි.

 මේ අනුව යම් චර්යාවක් සඳහා ජීව විද්‍යාත්මක  සාධකද බලපෑ  හැකි අතර  පරිසර  සාධකද චර්යාවන් කෙරෙහි හේතු වන බව විවිධ චර්යා  නිරීක්ෂකයන් පැහැදිලි කරයි.

 ප්‍රචණ්ඩත්වය චර්යාවකි. ප්‍රචණ්ඩත්වය යන්න කෙටියෙන් අර්ථ ගැන්වීමේ දී  කිය යුත්තේ එය  පුද්ගලයෙක් හෝ සත්වයෙක් තවත් අයෙකුට හානියක් කිරීමේ අදහසින් කරනු ලබන හැසිරීමක් බවයි. එසේම තමන්ගේ  අරමුණක් ඉටු කර ගැනීම සඳහා බලය අයුතු ලෙස යොද වීමක් ප්‍රචණ්ඩකාරී හැසිරීමක් විදහා දක්වයි.

පුද්ගලයන්ගේ ප්‍රචණ්ඩකාරී බවට ජීව විද්‍යාත්මක සාධක හේතු වේ. විශේෂයෙන්ම මිනිසුන් ගත්කල ගැහැණුන්ට වඩා පිරිමි ප්‍රචණ්ඩකාරී වීමට ජීව විද්‍යාත්මක සාධක හේතු වේ. පිරිමින් මාංශ පේෂි දැඩිවීමත්, විශාල වීම හා කයේ ශක්තිය වැඩිවීම ප්‍රචණ්ඩකාරී බව වැඩිවීමට හේතුවේ, පිරිමින්ට  ඇඩ්‍රිනලින් හෝමෝන මගින්  සිදුකරන ජෛව අභ්‍යන්තරික  සිදු කරන වෙනස්වීම් ගැහැණු  අයට සාපේක්ෂව වැඩි වීම් නිසා ආවේගශීලී බව වැඩිවේ. මෙම ආවේගශීලී  බව නිසා ප්‍ර‍න්ඩකාරී හැසිරීමට පෙළඹීම් වැඩිවේ.

  එමෙන්ම පිරිමි සටන් කිරීමට,  අවි ආයුධ භාවිතයට නැඹුරු වන ප්‍රවණතාවය වැඩිය. ජීව විද්‍යාත්මකව බලන කළ පිරිමින්ට වඩා ගැහැණු ප්‍රචණ්ඩකාරී ලෙස  හැසිරවීමේදී එය  ප්‍රදර්ශනය කරන ආකාරය වෙනස්ය. ගැහැණුන්ගේ  ඊස්ට්‍රජන්  හෝමෝනය  ක්‍රියාත්මක වීම නිසා ස්වභායෙන්ම ගැහැණු සියුමැලිය. ඔවුන්ගේ ආවේග ප්‍රවේණිගත ලක්ෂණ අනුව සමනය වීමත්  දක්නට ලැබේ. ගැහැණුන්ගේ ප්‍රචණ්ඩකාරී බව බොහෝ විට ප්‍රකාශ වන්නේ වචනවලිනි. එනම් වාග් ප්‍රහාර එල්ල කිරීමෙනි. එසේම කථා නොකර නිහඩ ව සිටීම, හැඟීම් මගින් පිළිබිඹු පිළිබිඹු කිරීම් වැනි ක්‍ර‍ම ගැහැණු තුළ දක්නට ලැබෙන දෙයකි.

 පරිසර සාධක අනුව බැලූවිට පුද්ගල ප්‍රචණ්ඩත්වයට බොහෝ විට ඔවුන් ජීවත්වන    සමාජය ආශ්‍රිත විවිධ දේ බලපායි. උදාහරණ  යුධ ගැටුම්  බහුල ප්‍රදේශවල  පුද්ගලයින් නිරන්තරයෙන් ප්‍ර‍චන්ඩකාරී හැසිරීම් පෙළඹේ. ප්‍රදේශ වල  කුඩා ළමයින් පවා අවි ආයුධ භාවිතා කිරීම, පහරදීම්, එවැනි කණ්ඩායම් වලට එකතු වීම සිදුවේ.

 එසේම මුඩුක්කු වැනි පරිසරවල දී ජීවත් වෙන පුද්ගලයින් තුල ප්‍රචණ්ඩකාරී හැසිරීම් වැඩිය. මුදල් ලබාගැනීමේ විවිධ අයුතු වෙළදාම් වල යෙදීම.උදාහරණ ආයුධ, මස් මත්පැන්, මත්ද්‍රව්‍යය, මත්කුඩු, ගණිකා වෙළදාම වැනි දේවල් වල යෙදීම  හා ඒ මත ඇති වන තරගය ප්‍රචණ්ඩකාරී බවට හේතු වේ. තවද එවන් පරිසරවල වෙසෙන කුඩා ළමයින්  ද  වැඩිහිටියන්ගේ  ප්‍රචණ්ඩකාරී හැසිරීම් නිතර අත්දකින බැවින් ඔවුන්ද ඒවා අනුගමනය කිරීමට ඉබේටම හුරු වේ.

 එමෙන්ම සමාජ අසාධාරණයට ලක්වූ  පුද්ගලයින් තුළ  ප්‍රචණ්ඩතාවය ඇති වන බව පැහැදිලි වේ. මෙයට බලපාන්නේ ද සමාජ පරිසරයකි. 88- 89  කාලයේදී  තරුණ තරුණියන් ප්‍රචණ්ඩකාරී හැසිරීමට හේතු ලෙස තරුණියන්ට රැකියා අවස්ථා අහිමි වීම, රජය තුළ තරුණ තරුණියන් සඳහා විධිමත් වැඩ පිළිවෙලක් නොතැබීම එම නිසා තරුණ අසහනය වැඩි වීම තදින් බලපෑවේය.

  එසේම දේශගුණික සාධක ද ප්‍රචණ්ඩත්වයත්වයට බලපාන බව ඒ  ගැන සොයා  බැලීමේදී පැහැදිලි වේ.  සෞම්‍ය දේශගුණික ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයින්ට වඩා වියළි  පරිසරවල ජීවත්වන පුද්ගලයින්ගේ   ප්‍රචණ්ඩකාරී බව වැඩිය .

උදාහරණ වශයෙන්  නුවරඑළිය වැනි ප්‍රදේශවල මිනිසුන්ට වඩා  හම්බන්තොට,මොණරාගල වැනි ප්‍රදේශවල ප්‍රචණ්ඩකාරී හැසිරීම් වැඩි වශයෙන් වාර්තා වේ.

එමෙන්ම  මුහුද ආශ්‍රිත  වෙසෙන ජනතාව තුල ප්‍රචණ්ඩකාරී හැසිරීම් වැඩිය. පරිසරයේ ඇති වියළි බව, රළු බව, හිරු රශ්මිය, අධික වීම ආදී පාරිසරික හේතුවෙන් පුද්ගලයන් තුළ ද රළු, ගොරෝසු හැසිරීම් නිතර දක්නට ලැබේ.  

වර්තමානයේ ප්‍ර‍චණ්ඩකාරී  හැසිරීම් වැඩිවීමට මාධ්‍ය බලපෑම් ද තරමක් හෝ බලපෑම් ද තරමක් හෝ බලපා ඇති බව කිව යුතුය.  මෙයද ප්‍ර‍චණ්ඩකාරී හැසිරීම් සඳහා පරිසර සාධකයෙකි. මාධ්‍ය තුළින් නිරන්තරයෙන්ම පෙන්වන බිහිසුණු සටන් ජවනිකා ඇතුළත් චිත්‍රපට,   ආවේගකාරී දර්ශන  ඇතුළත් වැඩසටහන්,ප්‍රේමයෙන් පරාජිත වීම් ඇතුළත් හින්දි චිත්‍රපටි කාමුක දර්ශන බහුල චිත්‍රපටි ආදිය පුද්ගල  ප්‍රචණ්ඩකාරී හැසිරීම් සඳහා හේතු වී ඇත.  උදාහරණ ලෙස පසුගිය කාලයේ පාසල් ශිෂ්‍යයෙක් අතින් අවුරුදු 02 වයසෙති  නැගෙනිය දූෂණයට ලක් වූයේ කාමුක දර්ශන ඇතුළත්  චිත්‍රපටියක් නරඹමින් සිටි අවස්ථාවක බව ඒ  පිළිබඳ පරීක්ෂණයකදී හෙළිවී වී තිබේ. මේ නිසා ලිංගික ප්‍ර‍චණ්ඩකාරී බවට මාධ්‍ය බලපෑම් බොහෝ දුරට දැඩි ලෙස හේතු වී ඇති බව පෙන්වා දිය හැකිය.

 තවද කප්පම්  ලබාගැනීමේ අදහසින් මතුගම  ප්‍රදේශයේ කුඩා ළමයෙකු රඳවා ගෙන සිට මරාදැමීමේ සිද්ධියේ දී අත්අඩංගුවට ගත් පාසල් සිසුන් කිහිප දෙනෙක් ප්‍රකාශ කළේ රූපවාහිනිය මගින් පෙන්වන ලද හින්දි චිත්‍රපටියක් ඇසුරින් එම දරුවා පැහැර ගැනීම් සැලසුම් කළ බවයි.



 එමෙන්ම  සංගීත සංදර්ශනවල වලින් නැගෙන  වේග රිද්ම සංගීතයටද  ප්‍ර‍චණ්ඩකාරී හැසිරීමට හේතුවන බව පැහැදිලි වේ. මෙහිදී පරිසර සාධක මෙන්ම ජීව විද්‍යා සාධක ද එම හැසිරීම් වලට බලපාන බව පෙන්වා දිය හැකියි. 

 සමහර අවස්ථාවල  දෙමව්පියන් තුළ ඇති ප්‍රචණ්ඩකාරී හැසිරීම් දරුවන්ටද  ජීව විද්‍යාත්මකව බලපාන බව  පෙනෙන්නට තිබේ. ප්‍ර‍චණ්ඩකාරීව හැසිරෙන පියෙකුගේ දරුවන්ටද  එම ගති ලක්ෂණ පිහිටීමට හැකියාව තිබේ. නමුත් වැඩිපුර දක්නට ඇත්තේ ප්‍රචණ්ඩකාරී හැසිරීම්  ඇති  ගෘහ පරිසරයක වෙසෙන දරුවන්ටද එම් අත්දැකීම් වල්ට මුහුණ දීම හේතුවෙන් ඔවුන් තුළ ද  ප්‍රචණ්ඩකාරී හැසිරීම් ඇති වී තිබෙන බවයි.

  පාසල් පරිසරය තුළින් ද මේ සඳහා කරුණු පෙන්වා දිය හැකිය. ආවේගශීලී විදුහල්පතිවරයෙක්ගේ නායකත්වය දෙන පාසලක  ළමයින් තුල ප්‍රචණ්ඩකාරී හැසිරීම් වැඩිපුර දැකිය හැකිය. එසේම නිතර කෝප වන පන්තිභාර ගුරුවරයකු ගේ පන්තියෙහි ළමයින් තුළ ප්‍රචණ්ඩකාරී  බව වැඩිපුර දක්නට ලැබේ.

 එසේම  සිරකඳවුරු වල වෙසෙන පුද්ගලයින් තුල ප්‍රචණ්ඩකාරී හැසිරීම් වැඩිය. එයට බලපා ඇත්තේ ඔවුන් වෙසෙන පරිසරයයි. ආහාර හිගකම්, සම්පත් වල් හිගකම් හා දැඩි නීතිරීති වලට යටත් වීම හා තමන්ගේ පවුල් පරිසරයෙන් ඈත් වීමෙන් ඇතිවන මානසික පීඩනය හේතුවෙන් එම පරිසරය තුළ සිටින සිරගත  වූවන්ගේ ප්‍රචණ්ඩකාරී  හැසිරීම්  නිරන්තරයෙන් දක්නට ලැබේ.

 පුද්ගල ප්‍රචණ්ඩත්වය මෙන්ම සතුන් තුලද  ප්‍රචණ්ඩකාරී බව , ජීව විද්‍යාත්මකම හා පරිසර විද්‍යාත්මක ව පැහැදිලි කළ හැකි.

 මිනිසා මෙන්ම අනිකුත් ක්ෂීර්ෂීරපායීන්ගේ පිරිමි සතුන් ගැහැණු සතුන්ට වඩා ප්‍රචණ්ඩකාරී ය. එයිනුත් සමාන ලිංගිකයන් අතර මෙය බහුලව දැකිය හැකිය. පිරිමි සතුන්ගේ බෝ වීමේ කාලය තුළ ලිංගික කාර්යය සඳහා  ආක්‍රමණශීලීත්වය වැඩි වේ.  විශේෂයෙන්ම ජීව විද්‍යාත්මකව බලන විට ලිංගික කාර්යය සඳහා සමහර සතුන්ගේ හෝමෝන ‍ශ්‍රාවය වන කාලයේ දී ඔවුන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් වැඩි වේ.  අලියන් වැනි  සත්වයන් ගත්කල ඔවුන් ගේ ලිංගික කාර්යයන් සඳහා සුදානම් වන කාලයේ අනෙක් කාලයට වඩා චන්ඩ වන බව දක්නට ලැබේ. එසේම  ගවයින්, අශ්වයන් වැනි සත්වයින්ට ඔවුන්ගේ හෝමෝන ක්‍රියාකාරිත්වය ඇතිවන කාලයේ දී  ප්‍රචණ්ඩකාරී බව වැඩිවේ.

 වඳුරන් අතර ද මේ තත්ත්වය දැකිය  හැකිවේ.වදුරු රැලක නායකයා වීමට අනෙක් පිරිමි වඳුරන් මරා දැමීමට තරම් ආක්‍රමණ බව දැකිය හැකි වේ.සත්ත්ව  ප්‍රචණ්ඩකාරී බව පරිසර විද්‍යාත්මකව බැලූ කල පෙනී යන කරුණක් නම් සතුන්ගේ විලෝපීතාවය ඉතා වැදගත් කරුණක් බවයි. එනම් සතුන් තවත් සතෙකු ගොදුරු කර ගැනීමයි. විලෝපීතාවය වැඩි  කර ගැනීමට සතුන් ප් ප්‍රචණ්ඩකාරීව හැසිරේ.   ගංවතුර, නියඟ ආදී පරිසර සාධක හේතුවෙන් ඇතිවන විවිධතා වලට සතුන් මුහුණ දෙන විට ගොදුර සොයා ගැනීම අසීරු වේ. එමෙන්ම ජීවීන්ගේ ගහනය වැඩි  කාලයට ජීවීන් අතර තරගය වැඩිය. එවිට ආක්‍රමණශීලීතාවය වැඩිවේ.

 මෙයින් ප්‍රබලයා ජය ගන්නා අතර දුබලයා පරාජයට පත්වේ. එවිට  ප්‍රබලයා ගැහැණු සතුන් සමඟ ලිංගිකව හැසිරීමෙන්  ප්‍ර‍බලයාගේ පරම්පරාව ඉදිරියට ගෙන යයි. දුබලයා ක්‍රමයෙන් පරිසරයෙන් වඳ වී යයි. ජීව විද්‍යාත්මකව බැලූ විට පෙනී යන්නේ ප්‍රබලයාාගේ ජාන ඊළඟ පරම් පරම්පරාවට යන බැවින්  ආක්‍රමණශීලී බව ජාල මගින් ඊළඟ පරම් පරම්පරාවට හිමිවන බවයි.

අභිජනන කාලසීමාවේදී පිරිමි සතුන් තම කණ්ඩායමේ ගැහැණු සතුන් වෙත යොමු වන අනෙක් පිරිමි සතුන්ට පහර දුන්න ද තමන් ලිංගිකව  පිළිගන්නා ගැහැණු සතුන්ට පහරදීම්ක්  නොකරයි.  සුනඛයින්  තම වර්ගයා සමග රංචු ගැසීම, එම රැලේ නායකයා වීමට අනිකුත් පිරිමි සතුන්ට පහර දෙන ආකාරයක් පෙන්නුම් කිිරීම හෝ පහරදීමක් සිදු කරනු ලැබේ. එබැවින් සුනඛයින් තමන්ගේ ප්‍රචණ්ඩකාරී බව තුළින් ගැහැණු සතා සමග ලිංගික කාරයන් සඳහා අවස්ථාව උදා කර  ගනී. 

එසේම සතුන් තමන්ගේ පැටවුන් ආරක්ෂා කර ගැනීමට ප්‍රචණ්ඩකාරී ව හැසිරෙන අවස්ථා ද ඇත. අලි රැලක පැටවුන් ලැබීමෙන් පැටවා මැදි කරගෙන අලි රංචුව ගමන් කරනු දක්නට ලැබේ. එම කාලයේ දී අලියන් ඉතා ප්‍රචණ්ඩකාරී ව හැසිරෙමින් තම පැටවුන් ආරක්ෂා කර ගනී. 

මේ අනුව පෙනී යන්නේ සතුන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් ට ජීව විද්‍යාත්මක සාධක මෙන්ම පරිසර සාධක ද ඉවහල් වී ඇති බවයි.   

මේ අනුව පෙනී යන්නේ සතුන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම ට ජීවිත් යාත්මක සාධක මෙන්ම පරිසර සාධක ද ඉවහල් වී ඇති බවයි.


               ✍✍✍හිරු ✍✍✍

Monday, 8 February 2021

කාලය වටිනවාද.............???




කාල සැපයුම සම්පුර්ණයෙන්ම අනම්යයි.එය
 වෙනස් කළ නොවේ.කල් තබාගත නොහැකිවාක්  මෙන්ම ගබඩා කර තැබීමට ද නොහැකිය.කාලය වෙනුවට යොදා ගත හැකි වෙනත් විකල්පයක්ද නොමැත.....
                                      - පීටර් ඩුකර්-

කාලය කොතරම් වටීද? යන්න ඒ අදහස තුල මනාව ගැබ්ව තිබේ.වර්තමාන සමාජය තුල ළමා,තරුණ,වැඩිහිටි සැම පාර්ශවයක්  තුලම මෙන්ම  බොහෝ දෙනෙක් කාලය ගැන එතරම් තැකීමක් නොමැතිව කටයුතු කරන ආකාරය දක්නට ලැබේ. විශේෂයෙන් මාධ්‍ය තුල පවා අර්ථශූන්‍ය කතා පවත් වමින්,වැඩසටහන් ඉදිරිපත් කරමින් සමාජයේ
 වෙසෙන මිනිසුන්ගේ කාලය පවා විනාශ කරන 
අවස්ථා සුලබය.අධ්‍යාපය හදාරන ළමා පරපුර පවා කාලය පිලිබද කිසිම තැකීමක් නැතුවා සේය..

සිතන්න......🤔🤔🤔
කාලය පිළිබඳව අලුතින් සිතිය යුතු කාලය පැමිණ තිබේ.....🤔🤔🤔

තම අතැති ස්මාර්ට් දුරකතනය ඔබගේ කාලය තත්පරයෙන් තත්පරය සොරා ගන්නවා නේද? සැලසුම් කරන ලද කාර්යයන් මගහැරී තිබේ.ඒ ඔබත් නොදැනීමය.දවස අවසානයේ හිස් බවක් තෙහෙට්ටුවක් මිස තෘප්තිමත් බවක්,සතුටක් ඇති වුනාද?ඒ නිසා තම ශක්තිය හීන වී ඇති බවක් සිතට දැනීමට පටන් ගනී.අලුතින් යමක්  කිරීමට හෝ
 අලුතින් යමක් සිතීමට තම හදවත තුලින් බාධා එල්ල වීමට පටන් ගනී.සැම විටම මනසට දැනෙන්නේ කිසිවක් කල නොහැකි බවකි.එය මානසික රෝගී තත්වයකට  පත් වීමට පවා තිබෙන ඉඩකඩ වැඩියි.ළමා,තරුණ,වැඩිහිටි මේ කුමන වයස් කාන්ඩයක වුවද මේ තත්වයට පත් වන අය අපට කෙතරම් මුණ ගැසී තිබෙනවාද? නිතරම කේන්‍ති යාම,සවන් දීමේ කුසලතාව  හීන වීම මෙන්ම හුදකලාව දැඩිලෙස ඇලුම් කිරීමද,
මොවුන් තුල පෙනෙන ලක්ෂනයන්ය.එවිට කාලය කා දමමින් නිකරුනේ දවස ගෙවා දැමීමට පෙළඹේ.මෙය නැවත නැවත චක්‍රාකාරව සිදුවේ.



සමාජයේ තනි පුද්ගලයන් මෙන්ම, ආයතන වශයෙන්
 ද සමාජ කණ්ඩායම් වශයෙන් ආදී සමස්ත
 සමාජයේම පිරිහීමට නිකරුනේ කාලය ගත කිරීම හේතු වී ඇති අයුරු පැහැදිලිව ප්‍රදර්ශනය වේ.රටක් වශයෙන් එය මහත් අභියෝගයකි.

එබැවින් කාලයෙන් නිසි  ප්‍රයෝජන ගැනීමට මනස පුබුදුවා ගත යුතු කාලය එළඹ තිබේ. 
මේ සදහා,

01.නියමිත වේලාවට වැඩකිරීම.
02.තම කාර්යයන් නිසි ලෙස සැලසුම් කිරීම. 
03.තමාගේ නිරෝගී බව සෞඛ්‍ය තත්වය ගැන සැලකිලිමත් වීම.
උදාහරණ ලෙස සමහර පුද්ගලයන් ආහාර ගැනීමට පවා කාලය වෙන් කර නොගනී.එයද අමතක වී ගොස් ඇත.
04.තම කටයුතු යෝග්‍ය වෙලාවක යොදා ගැනීම.
05.තම දෛනික කාර්යයන් කාල රාමුවක් තුල පෙළ ගස්වා ගැනීමට පුරුදු වීම.
06.අධ්‍යයන කටයුතු වල නියලෙන්නන් උදෑසන හා 
රාත්‍රී  කාලයෙන්  තමන්ට  යෝග්‍ය කාල පරිච්ඡේදයක් යොදා 
 ගැනීම
07.දුෂ්කර සහ ගැටලු සහිත කාර්යය පළමුව  නිම කිරීමට උත්සාහ කිරීම.
08. කාර්ය ඉටු  කරන අතර තුර කෙටි විවේකයක් ලබා ගැනීම.
09.තම කාර්ය ඉටු කිරීම සදහා සුදුසු වටපිටාවක්,
වතාවරනයක් නිර්මාණය කර ගැනීම.
විශේෂයෙන් දුරකතනය ලග තබා ගෙන ඒ පිළිබද  අවධානයෙන්  හෝ නිදන ඇඳ ළග සිටිමින් වැඩ 
කිරීම, කාර්යය ප්‍රමාද වීමට හෝ  මගහැරීමට හේතු වේ.
10.වින්දනය හා විවේකය සදහා කාලය වෙන් කර ගැනීම. 
11.නිදා ගැනීම සඳහා කාලය වෙන් කර ගැනීම.
12.ධනාත්මක ආකල්ප වර්ධනය කර ගැනීම.




ධනාත්මක ආකල්ප වර්ධනය තුලින් ජීවිතය දිහා අලුතින් සිතීමට හා නැවුම් ආරම්භයක් තුලින් දවස  ආරම්භ කිරීමටත් හැකියාව ලැබේ.අද  කල යුතු දේ අදම කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල උදා කර ගත හැකිවේ.කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමෙන් ජයග්‍රහණය පමණක් නොව අසීමිත වු නිදහසක්,සතුටක් අපට ලගා කර ගත හැකි වේ.එබැවින් උදාවු දවස ආදරයෙන් පිළිගෙන කාලය 
අපතේ නොහැර දවසෙන් උපරිම ප්‍රයෝජන ගත 
යුතුය.

අවසාන වශයෙන් නෝමන් වින්ස්ටන් පීල් නැමති 
ලේඛකයාගේ වටිනා කියමන ඔබ හමුවේ තබමි.ආදරනීය මිතුර,අද ඔබේය එය අල්ලා ගන්න.
එයට ආදරය කරන්න.එහි ජීවත් වන්න....



✍✍✍ හිරු✍✍✍

Friday, 30 October 2020

පුද්ගල මනස සහ ශරීරය


 පුද්ගලයාගේ මනස සහ ශරීරය අතර පවතින්නේ නොබිදිය හැකි සම්බන්ධතාවයකි.එනම්  මනස සහ කය  ක්‍රියාත්මක වන්නේ නිවුන් සහෝදරියන් ලෙසය.යන්න ඒ පිළිබදව පරීක්ෂණ කරන ලද විද්වතුන්ගේ අදහසයි.

මිනිසා තම බාහිර පරිසරයට ප්‍රතිචාර දැක්වීම වෙනුවට තමාගේ මනස තුල ඇතිවන සිතුවිලි වලට ප්‍රතිචාර දැක්වීමට යයි.මිනිසාගේ පරිසරය වී ඇත්තේ සිතුවිලිය.ඒ අනුව මිනිසාගේ ඕනෑම ක්‍රියාවක ආරම්භය සිදුවන්නේ ඔහුගේ මනස තුලයි.

මනස තුල පළමුව සිතුවිලි හට ගනී.ඉන්පසු  හැගීම් ඇති වේ.ඒවා ක්‍රියාවට යොද වන්නේ කය හරහාය.මේ අනුව පෙනී යන්නේ ඕනෑම ක්‍රියාවක් සිදු වීමට  මත්තෙන් එය පුද්ගලයාගේ මනස තුල සිදු වන බවයි.උදාහරණ වශයෙන් පුද්ගලයකුට යම් සොරකමක් කිරීමට අවශ්‍ය වුවහොත් එම ක්‍රියාව මනස තුල  පළමුව සැලසුම් කොට සිදු කරනු ලබයි.සමහර විටක එය කිහිප වාරයක් මනස තුල සිදු කරන අවස්ථා දක්නට ඇත.

මේ අනුව යම් ක්‍රියාවක් සදහා සිතුවිලි හා හැගීම් මනසෙහි ඇතිවන අතර එම චර්යාව කයෙන් ක්‍රියාත්මක වන බව පැහැදිලි වේ. 

අපගේ සෑම සිතුවිල්ලකට අදාල රසායනික අණුවක් ශරීරයේ ජනනය වේ.මේවා නියුරෝපෙප්ටයිඩ නොහොත් නියුරෝ ටාන්ස්මීටර්ස්  යනුවෙන් නම් කර තිබේ.සෑම සිතුවිල්ලක්ම ඇති වී තත්පරයකටත් අඩු කාලයකදී මෙවැනි රසායනික අණුවක් ශරීරයේ  ඇති  වේ. මනස සහ කය සම්බන්ධ කරන්නේ මෙම රසායනික ද්‍රව්‍ය මගිනි.මේවා ඇති වන්නේ ස්නායු පද්ධතියේ ස්නායු ආශ්‍රිතය. ඍණ සිතුවිලි නිසා  අහිතකර (අසුබවාදී ) අණු ද   ධන සිතුවිලි නිසා හිතකර  (සුබවාදී) අණුද ඇති වේ.ඒ අනුව ධන සිතුවිලි නිසා ධනචර්යාවන් ද (යහපත් හැසිරීම) ඍණ සිතුවිලි නිසා ඍණ චර්යාවන්ද (අයහපත් හැසිරීම්) ප්‍රකාශ කරයි.

කය සහ මනස අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් පවතින බව තහවුරු වීමට අපට ගත හැකි හොඳම උදාහරණයක්‍ නම් කුසගින්න ඇති වීමයි.කුසගින්න ශාරීරික අවශ්‍යතාවයකි.එවිට කුමන හෝ කෑම වර්ගයක් අනුභව කිරීමෙන් කුසගින්න නිවා ගත හැක.එවිට කායික අවශ්‍යතාවය සංසිදේ.නමුත් කුසගින්න ඇති වූ පමණින් ඕනෑම ආහාරයක් ගැනීමට පුද්ගලයා මැලි බවක් දක්වයි.තමා කැමති ආහාර ගැනීමට පුද්ගලයා පෙළඹේ.එය මානසික බලපෑමකි.

උදාහරණ වශයෙන් කුසගින්න සදහා තුන්වේල්ලටම බත් හෝ පාන් හෝ එකම ආහාරයක් අනුභව කළ හැකිය.එහෙත් මිනිසා සෑම විටම එකම ආහාරයක් අනුභව කිරීමට අකමැතිය.මෙහිදී  මිනිසා ආහාරයේ විවිධත්වයක්‍ අපේක්ෂා කරයි.ආහාරයේ රස,විවිධත්වය,වර්ණය ආදිය සේවීම මනසේ බලපෑමෙන් සිදු වේ. 



ගවයෙක් ගත් කල ඌ දිනපතා ආහාරයට ගන්නේ තණකොළ.සිංහයා ගත් විට මස් පමණක් අනුභව කරයි.ඒ එම සතුන්ගේ  කායික අවශ්‍යතාවය ඉටු කර ගැනීම සඳහා  පමණි.මිනිසාට එසේ කළ   නොහැක්කේ මිනිස් මනස නිරන්තරයෙන් වෙනසක් අපේක්ෂා කරන බැවිනි මෙසේ වෙනසක්  (විවිධත්වයක්)   නොලැබුන විට පුද්ගලයාගේ මනස පීඩාවට පත් වේ.ඒ හේතුවෙන් පුද්ගලයා දුකට පත් වේ.එය ප්‍රකාශ වන්නේ කායික රෝගයක් හෝ අපහසුතාවයක් ලෙසිනි.

පුද්ගලයාට යම් චිත්ත වේගයක් ඇති වු විට එහි ස්වභාවය අනුව ශරීර අභ්‍යන්තරයේ රසායනික ක්‍රියාකාරිත්වයක් සිදු වේ. 

උදාහරණ වශයෙන් නිතර කේන්ති යන කෙනෙකුට රුධිරයේ සීනි මට්ටම ඉහල යාමේ හැකියාව ඉතා ඉහළ බව පර්යේෂණ මගින් සොයා ගෙන තිබේ.කේන්ති යාමේදී  ආහාර දහනය සීග්‍ර වේ.ශරීරය වේව්ලීමට භාජනය වේ.එවිට වැඩිපුර ශක්තිය නිපදවීමක් සිදු වේ. පටක ගැටීමෙන් ශරීරයේ උෂ්ණත්වය වැඩි වේ.එවිට රුධිර පීඩනය වැඩි වේ.අවසාන ප්‍රතිපලය අධික රුධිර පීඩනය නමැති රෝගයට ගොදුරු වීමයි.මෙහිදී පෙනී යන්නේ මනසේ ඇති වෙන්නා වූ චිත්ත වේග නිසා ශාරීරික රෝගී භාවයට පත් වීමයි.

තවත් නිදසුනක් ලෙස බිය ඇති වීම ගත හොත් මෙය මුලින්ම මොළයේ හයිපොතැලමස නම් කොටස කරා ගොස් එමගින් පිටියුටරි ග්‍රන්ථිය කරා ගමන් කරයි. ඉන්පසු අධි වෘක්ක ග්‍රන්ථීයේ අධි වෘක්ෂ මජ්ජාව උත්තේජනය වී ඇඩ්‍රිනලින් නම්  හොර්මෝනය ශ්‍රාවය වීමට පටන් ගනී.ඉන්පසු අදාල නිර්නාල  ග්‍රන්ථීන් ක්‍රියාත්මක වීමෙන් මෙම බියට සරිලන ආකාරයේ කායික   ක්‍රියා   කාරීත්වය සකස් කරනු ලැබේ.එනම් රුධිර   පීඩනය  වැඩි වීම ශ්වසනයේ වේගය වැඩි වීම ග්ලුකෝස්  මට්ටම ඉහල යාම මේ අතර දැකිය හැකි ක්‍රියාකාරීත්වයන්   ගෙන් සමහරකි.

තවද පිටියුටරි ග්‍රන්ථිය මගින් ACTH( Adre Nocroticotropic) නම් හොර්මෝනය    ශ්‍රාවය  කර අධි වෘක්ක බාහිකය   උත්තේජනය කරයි. මෙහිදී කෝටිසෝල්  නම්  රසායනිකය  ශ්‍රාවය වීම සිදු වේ.මෙම කොටිසෝල් මගින් ද බියට එරෙහිව සටන්  කිරීම  සඳහා අවශ්‍ය   කායිකමය රසායනික ක්‍රියාකාරීත්වයේ  විශාල  වෙනසක් ඇති කරයි.

එනම් රුධිරයේ ග්ලූකෝස්  මට්ටම ඉහල දැමීම ප්‍රොටීන් සහ මේදය කැඩීමේ  ක්‍රියාව වැඩි කිරීම,ඇමයිනෝ අම්ල වලින්  ග්ලූකෝස් සැදීම වැඩි කිරීම.පරිවෘත්තිය ක්‍රියාවල වේගය වැඩි කිරීම,රුධිර සෛල වල හිමෝග්ලොබින් ප්‍රමාණය වැඩි කිරීම ආදිය සිදු වේ.

තවද  මානසික පීඩනයන් තුල සිටින පුද්ගලයන්ගේ බාහිර පෙනුමෙහිද පැහැදිලි වෙනස්කම් ඇති වේ.මුහුණෙහි මාංශ පේශි දැඩි වීම,ප්‍රියමනාප බව නැති වීම,මුහුණ කඵ පැහැ ගැන්වී අදුරු ස්වරූපයක් ගැනීම ආදී කායිකමය ලක්ෂණ දක්නට ලැබේ.

බුදු රජාණන් වහන්සේද ශාරීරිය හා මනස අතර සම්බන්ධතාවය පිළිබඳ කරුණු ඉදිරිපත් කර ඇත.බුදුන් වහන්සේ  දේශනා කර ඇත්තේ තමාගේ පරම හතුරා අනෙකක්  නොව තමන්ගේ සිතමය.යන්නයි
                      ආරෝග්‍ය පරමා ලාභා
                      සන්තුට්ඨි පරම ධනං........
ගාථාවෙන් දේශනා කර ඇත්තේ සතුට උතුම්ම ධනය බවයි.සතුටින් සිටිමෙන් නිරෝගී භාවය ඇති වෙන බවත් ඒ හේතුවෙන් යහපත් ජීවිතයක් ගත කළ හැකි බවත්ය.

ඉහත කරුණු සියල්ල සලකා බැලීමේදී පෙනී යන්නේ ශරීරය තුලින් පෙන්වන බොහොමයක් ක්‍රියාකාරීත්වය සදහා මනස මෙහෙයුම් මැදිරියක් ලෙස ක්‍රියා කරන බවයි.ශාරීරික ක්‍රියාකාරීත්වය  තුලින් මනස පාලනය කළ නොහැකි අතර මනසේ ක්‍රියා කාරීත්වය තුලින් පුද්ගලයාගේ කායික දේවල් පාලනය කරන බව පැහැදිලි වේ.

මේ නිසා සැම විටම සන්සුන් නිරෝගී මනසක් සකස් කර ගැනීමෙන් නිරෝගී ජීවිතයක් ගත කළ හැකි බවත් මෙම මනස හා ශරීරය යුවති පතීන් මෙන් අපගේ ජීවිතය පුරාවටම ක්‍රියාත්මක වන බවත්  සදහන්  කළ හැකිය.


✍✍✍ හිරු✍✍✍

Sunday, 11 October 2020

මිනිස් සන්තානය හා වර්තමානය


 පුද්ගල සංවර්ධනය,ආගම,දහම,සදාචාරය වැනි මාතෘකා වර්තමානයේ බොහෝ සෙයින් අසන්නට, දකින්නට ලැබේ.මාධ්‍ය සංදර්ශන පවත්වමින් විවිධ නාලිකා ඔස්සේ මිනිස් සන්තානයට කිදාබැස මිනිසාගේ සිතුවිලි ඔවුන් අතට පත් කරගනිමින් මනස විකෘති තත්වයට පත් කර ගෙන ඇති  බවද පැහැදිලි වේ.

මුහුණු පොත හරහා  පුද්ගලයා  තමන් ගැන සිතනවාට වඩා අන් අයගේ තොරතුරු සෙවීමට,කතා කිරීමට හා පහත් රසවින්දනාත්මක දේවල් වලට කාලය වැය කිරීමට බොහෝ සෙයින් පෙළඹී ඇත.ජංගම දුරකතනයට ජීවිතයේ ඉහලම ස්ථානය ලබා දී තම වටිනාම මෙවලම එය බව සිතා කටයුතු කරන යුගයකි. මේ.

පුද්ගලයාගේ තම සිතුවිලි තුල හුදකලා බවට පත් වීමටත්,කායික ,මානසික හා සමාජීය සෞඛ්‍යයේ පිරිහීමට ලක් වෙමින් සිටී.


පිරිපුන් මිනිසුන් වෙනුවට ගතින් සිතින් මලානික  වූ මිනිසුන් වර්තමාන සමාජය තුල වැඩි වෙමින් පවතී. 

එබැවින් පවුල්  සංස්ථාව තුල ඇති බැදීම,ආදරය,සහයෝගය වැනි උසස් ගුණාංග පිරිහීමට පටන් ගෙන ඇත.
වටින්නේ මිනිසෙකු නොව වටිනා මිනිසෙකි
යන සංකල්පය සමාජය තුලට කාන්දු කළ යුතු යුගයකි මේ.


පුද්ගලයා මුලින් සිතිය යුත්තේ තමන් ගැනය.මුලින්ම ආදරය කල යුත්තේ තමන්ටය.මන්ද තමන්ට ආදරයක් නැති  පුද්ගලයා වෙනත් කෙනෙකුට  ආදරය කරන්නට පෙළඹෙන්නේ නැත.තමන්ගේ වටිනාකම තමන්ටම දැනිය යුතුය.


එසේනම් තම ජීවිතය තුලට කිදාබැස තමා ගැන ගවේෂණය කිරීමට කාලය එළඹ තිබේ.ඔබ ඔබ ගැනම සිතන්න.ඔබ පොහොසත් විය යුත්තේ ඔබගේ යහපත් සිතුවිලි වලින්ය.ඔබගේ සිතුවිලි ධනාත්මකද?ඔබ සතුටින් ද?

01.දුක,සතුට, තරහ,කෝපය වැනි ඕනෑම චිත්ත වේගයකට ඔබට හොඳින් මුහුණ දිය හැකිද?

02.ඔබ ගැන පරාජිත හැගීම් වලට වඩා ධනාත්මක හැගීම් වලින් ඔබ ප්‍රබෝධමත් කරයිද?

03. සැම විටම ඔබගේ දුර්වලතාවයන් ඇත්නම් එය පිළිගන්නට ඔබ කැමතිද?

04.ඔබ ගැන අධි තක්සේරුවක් හෝ අව තක්සේරුවක් ඇති කර නොගනීද?

05.අන් අය සමඟ සුහද  සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීමට පහසුවෙන් හැකිවේද?

06.අන් අයගේ සිතුම් පැතුම් අවබෝධ කරගැනීමට උත්සාහ දරයි ද?

07.එසේම පුද්ගල විවිධත්වයන් ගරු කරමින් ඔවුන් සමග එක්ව වැඩ කිරීමට හැකිද?

08.නව අත්දැකීම් ලබා ගැනීමට උත්සාහ දරයි ද, කැමත්තක් දක්වයිද?

09.ඔබට පැවරෙන කාර්යයන් උසස් ලෙස නිම කිරීමට සැම විටම උත්සාහ කරයිද?

10.ජීවත් වීමේදී ඇති වන ගැටලු වලට සාර්ථකව මුහුණ දීමට හැකිද?

  විශේෂයෙන් ඔබ වැඩිපුරම සිටින්නේ සතුටින් ද,නැතහොත් දුකෙන් හෝ කලකිරීමෙන් ද?

ඔබ සතුටින් නම් ඔබ හමුවට එන ගැටලු වලින් පලා යෑමට උත්සාහ දරන්නේ නැත.ඔබ සතුටින් නම් ඔබට අන්‍යයන්ගේ තරහව,කෝපය වැනි චිත්තවේගික තත්වයන් හමුවේ ආවේගශීලී වන්නේ නැත.

මිනිස් සන්තානය තුල ඇතිවන සිතුවිලි යහපත් කර ගැනීමට තමා ගැනම ගවේෂණය කර තමා හදුනා ගැනීමට කාලය වෙන් කළ යුතු කාලයකි මේ.සිතුවිලි යහපත් වීම අහඹු දෙයක් නොව අප පුරුදු පුහුණු කර ගත යුතු දෙයකි.වර්තමානයේ සමාජ අවශ්‍යතාවය  වන්නේ ද එයයි.උත්සාහ දරමු.යහපත් වෙමු.....


✍✍✍✍ හිරු✍✍✍✍

ප්‍රචන්ඩකාරී හැසිරීමේ පදනම ජීව විද්‍යාත්මක ද? පරිසර විද්‍යාත්මක ද? විමසා බලමු ............

  ප්‍රචණ්ඩකාරී හැසිරීම කෙරෙහි ජීව විද්‍යාත්මක බලපෑම්ද පරිසර  විද්‍යාත්මකව බලපෑම්ද  හේතු වන්නේ යන්න විමසා බැලිමේ දී පෙනී යන්නේ ඊට අදාලව අධ්‍ය...